අපේක්ෂා රෝහලේ CT Simulator යන්ත්‍රයේ දෝෂයක් – පිළිකා රෝගීන් 1,500කට පමණ ප්‍රතිකාර ප්‍රමාදයක්......... - Global Tamil Voice உலக தமிழ் குரல்

අපේක්ෂා රෝහලේ CT Simulator යන්ත්‍රයේ දෝෂයක් – පිළිකා රෝගීන් 1,500කට පමණ ප්‍රතිකාර ප්‍රමාදයක්.........

 



මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය CT Simulator යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් පිළිකා රෝගීන් 1,500කට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, නව CT Simulator යන්ත්‍රයේ ඇති වී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති බවයි.

රෝහලේ පැවති පැරණි CT Simulator යන්ත්‍රය ඉවත් කර ඒ වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කිරීම පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සතියෙන් පසුව සිදුකර තිබේ. නව යන්ත්‍රය පසුගිය මාසයේදී ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී තිබුණද, එහි මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංගය සමඟ නොගැළපීම හේතුවෙන් යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් Linear Accelerator යන්ත්‍රය භාවිතයෙන් ලබාදෙන විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමේදී ද බාධා මතුව ඇති බව චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මාස කිහිපයක සිට දැනුවත් කර තිබුණද, මේ දක්වා සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තවදුරටත් දීර්ඝ කාලයක් ගතවිය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගැනීමට රුපියල් ලක්ෂ 5ත් 20ත් අතර මුදලක්

රජයේ රෝහලේ මෙම ගැටලුව හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවුවහොත් එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවිය හැකි බවද සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ශල්‍යකර්මයකින් හෝ රසායනික චිකිත්සක ප්‍රතිකාරවලින් (Chemotherapy) අනතුරුව විකිරණ ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන්ට නියමිත කාලය තුළ ප්‍රතිකාර ලබාදීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.

පිළිකා සෛල විනාශ කිරීම සහ රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර සැලසුම් කළ කාලසීමාවන්ට අනුව සිදුකිරීම අත්‍යවශ්‍ය බැවින්, මෙම තාක්ෂණික ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

ඒ අනුව, රෝගීන් විශාල පිරිසකට බලපා ඇති මෙම ගැටලුව විසඳීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වීමේ අවශ්‍යතාව මේ වන විට මතුව තිබේ.

About Lanka Theepam